
හැරමිටි වාරු අරගෙන ඇය ඇවිදින්නේ
සීයා නිතර අනෙ ඇය පසුපස යන්නේ
ලෝකය දැකල ඇය අප යහමඟ ගන්නේ
අම්මා තරමටම ඇය ආදරෙ දෙන්නේ
හාල් ටික දාල වන්ගෙඩියට ඇය කෙටුවා
ඉන්පසු පෙනේරෙන් ඒවා ගෙන හැලුවා
විටකදි දරද ගෙන පොරවෙන් ඇය පැලුවා
ආදරෙ වැඩිකට මට කිව්වේ කොලුවා
දර ලිපෙ තබා මුට්ටියෙ ඇය බත ඉව්වා
කොස් දෙල් තම්බලා පොල් සමගින් කැව්වා
ගොම්මන් වැටෙන වේලෙට බිල්ලෙක් මැව්වා
ඇගෙ අණ නොපිලිපැද්දොත් අප හට රැව්වා
කොරටුවෙ බුලත් කඩලා ගන්නේ අතට
දුම්කොළ, පුවක්,හුණු කලවම් කර කටට
හැමදා විකනවා විට හදලා රහට
මුළු මුව මඩල තද රතුපාටයි යසට
අම්මා නොමැති දරුවන් හට ඇය මවකී
තිබුණේ ඇයට හරි සුන්දර රන් රුවකී
අම්මා ඇයගෙ ගුණදම් පිරි හොඳ දුවකී
හැරගිය දා හැලු කඳුළලි මට දුකකී
ඇය අප සියලුම දෙනාම ආරක්ෂා කරන්නීය.
නිවසද ආරක්ෂා කරන්නීය.
ලියන්නේ සිත්ති සීනත්
