
ආසයි අම්මේ ලෝකෙ දකින්නට
මොන පාටක් දැයි කියලා
මිනිස්සු කියන්නෙ හැඩ රුව කොහොමද
පේන්නේ නැහැ මට මැවිලා
දවසින් දවසම මම ලොකු වෙනවා
ඒ කද කියන්නෙ වැඩිලා
ඇසෙනවා සුපුරුදු විලසම හඬවල්
හිත දගලනවා ඇහිලා
මලක් අරන් මම පූජා කරනවා
කියන්න එහි පිං පාට
උදය, දවාලය, රැයයි කියන්නේ
කළුවර වෙනවද රෑට
ඉදිච්ච පළතුරු කනකොට රසවත්
සුවදයි නොපෙනේ පාට
කවදද අම්මේ නුඹව දකින්නේ
ලෝකය ජය ගමි දාට
‘බ්‍රේල්’ ක්‍රමයට ඉගෙන ගන්නවා
ලොකු මහතෙක් වී රටට
මගෙ සේවය මම හරි හැටි කරනෙමි
අන්දරෙ උනාලු කවට
කීචි බීචි හඬ දසතින් ඇසෙනව- මිහිරි නාදයක් සමගින්
අම්මගෙ සිනහව මැවිලා පේනවා- හිනැහෙනවද ඔබ මුවගින්
ගත සිත පුබුදල හිරිගඩු පිපෙනවා- හමලා වැදෙනා සුළගින්
තුරුළට අරගෙන නළවන කොට නුඹේ- කඳුළුද එන්නේ නෙතගින්
මාවැනි ළමයින් ගොඩක් ඉන්නවද- මේ ලස්සණ ලෝ තලයේ
උකුලෙ තියන් නුඹ අරගෙන එන්නේ- පුරවල වතුරයි කලයේ
සද්දන්තය යයි කියල කියන්නේ- කොහොමද හැඩ උගේ දළයේ
දෑත එකතුකොට වදිනෙමි නුඹ හට- අම්ම නුඹයි මිහි තලයේ
ලියන්නේ සිත්ති සීනත්
